සිරකරුවකුට පහරදීමට ගියැයි දුමින්ද සිල්වාට එරෙහිව පරීක්ෂණයක්

මරණ දණ්ඩනය හිමිවී රෝහලේ අංක තුන වාට්ටුවේ රඳවා සිටින දුමින්ද සිල්වා ඊයේ (13) එම වාට්ටුවේ සිටින වෙනත් සිරකරුවන් පිරිසක් සමඟ බහින්බස්වී සිරකරුවෙකුට පහරදීමට තැත්කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

එහිදී දුමින්ද සිල්වා එම සිරකරුවන් සමඟ උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිකරගෙන තිබෙන බවත් එහිදී ඔහු විසින් සිරකරුවෙකු තල්ලුකර දමා පහරදීමට උත්සාහ කර ඇති බව එම ආරංචිමාර්ග කියයි. මෙහිදී බන්ධනාගාර නිලධාරීන් වහාම ඒ තත්ත්වය පාලනය කර ඇති අතර දුමින්ද සිල්වා එසේ රැඳවියන්ට පහරදීමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනියගේ උපදෙස් පරිදි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අදාළ සිද්ධිය පිළිබඳව මේ වනවිටත් සිරකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර අංක තුන වාට්ටුවේ සිටි, සිද්ධියට සම්බන්ධ සිරකරුවන් දෙදෙනකු මේ වනවිට වෙනත් වාට්ටුවකට මාරුකර යවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *