නව ජනපති ඉන්දීය විදෙස් ඇමති හමුවෙයි

ඉන්දියානු නිල සංචාරයක  යෙදි සිටින නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 29)  ඉන්දීය විදේශ කටයුතු  ඇමැති  සුබ්‍රමනියම් ජයශංකර්  මහතා හමුවිය.

ජනපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් විදෙස් සංචාරයක නිරතවන ප්‍රථම අවස්ථාව මෙය වෙයි .

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි වෙතින් මෙම ආරාධනය ලැබූ  ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරයේ දෙවැනි දිනය අදයි.

එහිදී සිය ප‍්‍රථම නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඉන්දීය විදේශ අමාත්‍යවරයා සුබ පැතුම් එක්කර තිබෙනවා. එහිදී ඔහු පවසා ඇත්තේ ශී‍්‍ර ලංකාවේ නව රජයේ වැඩපිළිවෙලට ඉන්දීය රජයේ පූර්ණ සහය හිමිවන බවයි.

ආර්ථික සංවර්ධනය අරමුණු කරගත් අන්‍යෝන්‍ය ප‍්‍රතිලාභ සහිත නව ප‍්‍රවේශයකින් ඉන්දු – ශී‍්‍ර ලංකා සබදතා නව යුගයකට ගෙනයාම ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ අපේක්‍ෂාව බවද විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.

ගුණාත්මක ඉහළ පාලන තන්ත‍්‍රයක් පවත්වාගෙන ගියහොත් විදෙස් ආයෝජන පහසුවෙන් ගලාඑනු ඇති බවයි ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවේ පවසා ඇත්තේ.

එහිදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ ද්විපාර්ශවික මිත‍්‍රත්වය වර්ධනය කර ගැනීම සිය අපේක්‍ෂාව බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් දොවාල්ද ඊයේ පස්වරුවේ මුණ ගැසී තිබෙනවා.

ජනාධිපතිවරයා අද දහවල්  ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණ ගැසෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. පසුව ජනාධිපතිවරයා, ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *