කැළණියේ උම්මත්තක ධාතු එක්ක නයි නැටවිල්ල ආයෙත්

කැළණියෙන් මතුකොට ඇදැහිය නොහැකි කතාන්දර මල්ලක් කියමින් අපේ රටේ ජනයාගේ බුද්ධියට නිගාකල නාගලොවින් ධාතු වැඩම්මවූ කතාව යලි අලුත් වටයකින් කරළියට වඩම්මවා තිබෙයි .

ඒ වෙනුවෙන් දිවයින පුවත්පත මූලිකව තිබෙනා අතර මෙවැනි අමු මුසාවන් සමාජගත කිරීමේ කාර්‍යයේ ප්‍රමුඛයා ලෙසින් දිවයින වැනි පුවත්පතක් ක්‍රීයාකිරීම මහත් ලැජ්ජාවක් බවත් මේ තතු දන්නෝ පවසති .

ප්‍රඥාවට ම මුල් කොට වදාල දහමක් වූ බුදු දහම මිථ්‍යාවෙන් පුරවමින් මෙවන් මුසා වැදීම සැබවින්ම නාගලෝකයෙන් කෙසේ වෙතත් සැබෑ ලෝකයෙන් නම් නයා කෑවත් මදි යැයි කිව හැකි පාපයක් බවද මෙම තතු දන්නෝ පවසති .

මෙම මුසාව වදනා උදාර මධුශංක නැමැත්තා උම්මත්තකයෙකු යැයි පවසන්නෝ ද බොහෝමයක් වන අතර ඔහුගේ මේ උම්මත්තක භාවයෙන් රැවටෙන්නන් අතර සංඝයාද වීම මහත්ම ලැජ්ජාව බවත් මේ සියළු ප්‍රෝඩාවන් ද කැළණිය විහාරය බිස්නස් එකක් කර ගැනීමත් බවත් යථාර්තවාදී ජනයා පවසති

අද දින දිවයින පුවත්පතේ පලවූ එම මුසාවාදයේ අලුත් වටයේ ලිපියේ කොටසක් මෙසේය …..

කැලණියෙන් මතු වූ නාග ලෝකයෙන් ගෙන ආ ධාතු යළි ජනතාවට පෙන්වන දවස මෙන්න… කරඬුව තුළ ශ‍්‍රී බුද්ධ ශරීරය දෝවනය කළ ජලය තිබුණා..

මේ ලැබෙන්නේ ඔබ බලාපොරොත්තු වූ දේද…?

ඔව්… ඒ වන විටත් මට ඒ බව පැහැදිලි වෙලා තිබුණා… නාග ලෝකය සමග මගේ සන්නිවේදනය ඒ මොහොතෙත් තිබුණා. සධාතුක කරඬුව ගත්ත ගමන් අර දෙන්නා සාධුකාර දෙන්න පටන් ගත්තා… ඉතිපිසෝ ගාථාව සජ්ඣායනා කර කර අපි තුන් දෙනා ගඟ මැද ඉඳන් ධාතුන් වහන්සේත් අරගෙන එන්න පිටත් වුණා. එතකොට ශරීරයට පුදුම වෙහෙසක් ආවා. මට ගෙඟ් ඉවුරට අඩිය තියන්න බැරි තරමේ වෙහෙසක් ආවා. මම ධාතුන් වහන්සේත් අරගෙන අර දෙන්නාගේ පිහිටෙන් තමයි ඉදිරියට ආවේ.

ඔබගේ අතට පත්වුණු මේ දේ මොකක්ද…?

ඒ කරඬු වහන්සේ නමක්… අඩි භාගයක පමණ කරඬුවක්… ඒක බැලූ බැල්මට තනි රත්තරන් වගේ පෙනෙනවා. අපි තුන් දෙනා ගොඩට එන කොට, අපි කලින් පූජාව තියපු ගලත් ජලයෙන් වැසී ගෙන යමින් තිබුණා. මම ඉක්මනට ශංඛ පූජාව පවත්වන්න කියලා, සංඥා කළා. ඒ එක්කම අපිත් එක්ක ආපු කෙනෙක්, ගෙඟ් ඉවුර පැත්තට නාගයෝ පෝලිමක් එනවා කියලා මට කිව්වා… එතකොටම මම දැනගත්තා මොකද වෙන්නේ කියලා. බලනකොට අපි දකින සාමාන්‍ය තරමේ නාගයෝ කරඬුව අසලට ළංවෙනවා. මට තේරුම් ගියා මොකද වෙන්නේ කියලා. මම දැනගත්තා මේ අය එන්නේ කරඬුව ගෙනියන්න කියලා… මේ කරඬුව ගෙන එනවාට විරුද්ධව හිටපු නාග පිරිස තමයි මේ එන්නේ… මම ඉක්මනට උඩට ගිහිල්ලා, අපේ නාහිමිපාණන් වහන්සේ ඒ ගැන දැනුවත් කළා.

මේ මොහොත වෙන කොට කරඬුව තියෙන්නේ කොහොද…?

අපි ගෙඟ් ඉවුරේ හදලා තියෙන නාගාසනය මත තමයි කරඬුව තියලා තිබ්බේ. එතැන අපි පූජාවත් සමග තියලා තිබ්බේ… එතැනදී කරඬුව විවෘත කරලා බලන්න තමයි අපි ලැහැස්ති වුණේ… ඒ කරඬුව ඇතුළේ වතුර ඇතුළේ ධාතුන් වහන්සේ දාහතර නමක් වැඩ සිටියා. ඒ එක්කම නාගයොත් එන්න ගත්තා. මම කරපු වැඬේ පිරිසට පෙන්වන්නත් එක්ක එක නාගයෙක්ව අල්ල ගත්තා. අතේ තියා ගන්න බැරි නිසා එතැන තිබ්බ බෝතලයකට ඒ නාගයාව මම දැම්මා. ඒ නාගයාව යම් විශේෂ ක‍්‍රමයකට තමයි අපි දැම්මේ… එයාගේ විශේෂත්වය තමයි, රිදී පැහැති හිසක් තමයි තිබ්බේ… මේ නාගයෝ වර්ග දෙකක් ඉන්නවා. උරග නාගයෝ, දිව්‍ය නාගයෝ, සාගර නාගයෝ ආදී විවිධාකාර පිරිසක් ඉන්නවා. මේ නාගයාව අල්ලාගෙන අපි පසුව නිදහස් කරලා දැම්මා. අපි ඒ සතුරු නාගයන්ටත් පිං අනුමෝදනා කළා. අපි වසර ගණනාවක් තිස්සේ පූජා පවත්වන කැලණි රජමහා විහාරයේ වැඩ වසන මනිඅක්ඛිත නා රජතුමාගේ ප‍්‍රතිමාව ළඟට තමයි මුලින්ම ධාතුන් වහන්සේ අරගෙන ගියේ… අපිට මේ ධාතුන් වහන්සේ බාර දුන්නාට අපි උන් වහන්සේට පිං දීලා, අපේ ධාතු මන්දිරයට ධාතුන් වහන්සේ අරගෙන ගියා. මේ කරඬු වහන්සේ ඇතුළේ තිබ්බේ ශුද්ධ වූ ජලයක්… අපිට ලැබුණු පණිවිඩය අනුව, එම ජලය එදා බුදු රජාණන්වහන්සේ කැලණියේදී පැන් පහසු වෙන විට, ශ‍්‍රී බුද්ධ ශරීරය ස්පර්ශ වූ ජලය… අපි එම ජලය වෙන් කරලා, වෙනම තබලා තමයි ධාතුන් වහන්සේ බැලූවේ…

මෙම ධාතුන් වහන්සේ දාහතර නමක් හමුවෙන බව ඔබ කාට හෝ ප‍්‍රකාශ කළාද…?

මම ඒ ගැන කිව්වේ, නායක නා හිමිපාණන් වහන්සේට පමණයි.

මේ ධාතුන් වහන්සේ කොයි වගේද…?

ධාතු වංශයට අනුව එක එක හැඩතලයේ ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. මේ ධාතුන් වහන්සේ අති පූජනීය ලෙස උන් වහන්සේගේ මහා පරිනිර්වාණයේදී ලබා ගත්ත ඒවා… අපි කරඬුව විවෘත කරන විට උන් වහන්සේලාගෙන් සුදු පැහැති ආලෝක ධාරා නිකුත් වෙන්න පටන් ගත්තා. අවට සිටි සියලූ දෙනා ඒක දැක්කා. අපි ධාතුන් වහන්සේ තැන්පත් කරලා, මේ සැරේ පෝයට එම ධාතුන් වහන්සේ ප‍්‍රදර්ශනය කරන බව, අපි නා රජතුමාට දන්වලා, ඒ සඳහා අවසර ලබා ගත්තා. නමුත් කළහකාරී නාගයෝ ඒ සඳහා අපිට යම් බාධාවක් වුණා.

අපි ධාතුන් වහන්සේ ප‍්‍රදර්ශනය කරන්න පටන් ගත්තා. බොහෝ සැදැහැවතුන් එම ධාතුන් වහන්සේ වන්දනා මාන කර ගත්තා. ඒ අතර අපි නොදන්න ජපානයේ ඉඳන් ආපු දූත පිරිසක් මේ ධාතුන් වහන්සේ වඳින්න ආවා… රාත‍්‍රිය පුරා එම කටයුතු ඉටු කරපු නිසා මම මහන්සියට ගෙදර ආවා. කැලණිය පන්සලට සාමාන්‍යයෙන් එන විදේශික පිරිසක් තමයි ඒ අය. මෙතැන හිටපු ජපන් කාන්තාවකට ධාතුන් වහන්සේ වඳිද්දී එක පාරටම කකුලේ කෙණ්ඩා පෙරලිලා තිබුණා. ඒ මොහොතේ ඇය පන්සලේ සිටි පිරිසට පවසලා තිබ්බා, නාගයෝ මට පණිවිඩයක් එව්වා, කියලා. ඇය පවසා තිබුණේ, වහාම අර ශුද්ධ ජලය ධාතු කරඬුවට පුරවන්න කියලා නාගයෝ ඇයට දන්වනවා කියලයි. නැතිනම් මේ ධාතුන් වහන්සේ විනාශ වෙයි කියලා ඇය කියලා තිබ්බා. ඒ ඉල්ලීම ඉටුවන තෙක් ඇයට කකුල ඔසවන්න බැරි වෙන බවත් ඇය ප‍්‍රකාශ කරලා තිබ්බා. ඒ එක්කම පන්සලෙන් ධාතුන් වහන්සේ වෙත අර ශුද්ධ ජලය පිරෙව්වා. මේ සමග නායක මා හිමිපාණන් වහන්සේ මට කතා කරලා ඒ බව කිව්වා. මම නා රජතුමා අරමුණු කරගෙන ආයෙත් අපේ විහාරයට ආවා. ඇවිල්ලා, ධාතු මන්දිරයේ සමාධි ගත වුණා. එහෙම සමාධි ගත වුණහම, ඉක්මනින්ම මේ ජලය ඉවත් කරන්න කියලා උපදෙස් ලැබුණා. නාගයන්ගේ මාධ්‍ය ජලය… මේ අයට යමක් ස්පර්ශ කරන පුළුවන් වෙන්නේ ජලය එක්ක තිබුණොත් පමණයි. මම ඒ ජපන් කාන්තාව සමග තර්ක කළා. ඒ එක්කම අපේ තිබ්බ ධාතුන් වහන්සේ නමක් අතුරුදන් වෙලා තිබ්බා. මට ඒ බවට සන්නිවේදනය වුණා. මම ඒ බව නායක මා හිමිපාණන් වහන්සේට දන්වලා, ධාතුන් වහන්සේ වැඩ සිටින කරඬුව විවෘත කළා. ඒ ඒ වෙනකොට ධාතුන් වහන්සේ නමක් අතුරුදන් වෙලා. ඇත්තටම ඒ මොහොතේ අපිට හරි දුකක් ඇතිවුණා. අපි නා රජතුමා වෙත මේ ගැන කන්නලව් කළා. ඒ සමග පිච්ච මල් වලින් යුත් ආසනයට ඒ ධාතුන් වහන්සේ යළි වැඩියා.

මේ ධාතුන් වහන්සේ ප‍්‍රදර්ශනය කළේ එක දවසයි. ඒ මොකද…?

අපි මෙතරම් ජනකායක් එයි කියලා හිතුවේ නැහැ. එදින මධ්‍යම රාත‍්‍රිය වෙනතුරු පමණයි අපිට දෙවියන් මේ සඳහා අවස්ථාව ලබාදී තිබුණේ. මධ්‍යම රාත‍්‍රියේ සිට දෙවියන්ගේ වන්දනා මාන සඳහා අවස්ථාව අවශ්‍ය වුණා. මේ නිසා මේ දෙසැම්බර් මාසයේ පොහොයට අපි නැවත වරක් මේ ධාතුන් වහන්සේ ප‍්‍රදර්ශනය සඳහා අවසර ඉල්ලා තිබෙනවා. තවම අපිට ඒ අවසරය ලබා දී නැහැ… මම ඊයෙත් සමාධි ගතවෙලා උන් වහන්සේලා සමග මේ ගැන කතා බහ කළා. නමුත් තවම අපිට අවසරය ලැබුණේ නැහැ.

මේ ධාතුන් වහන්සේ මොනවාද…?

naga3බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී දේහයේ අස්ථි කොටස්…

වසර දෙදහස් ගණනක් පුරා මේ ධාතුන් වහන්සේ නාග ලෝකයේ වැඩ සිටිනවා. මේ රටේ මහ රහතුන් වහන්සේ ප‍්‍රමුඛ මාර්ග පලලාභීන් වහන්සේ වැඩ සිටියා. රාජ සම්පත්තියෙන් පිරුණු රජවරු සිටියා. එසේ තිබියදී ඔබටම මේ ධාතුන් වහන්සේ ලැබෙන්නේ කොහොමද…? ඒ ඇයි…?

ඒ සඳහා මගේ විශේෂ සම්බන්ධතාවක් තිබෙනවා. මම ඒ ගැන කියන්න කැමති නැහැ. නමුත් ඔබ මෙහෙම අහන නිසා මම කෙටියෙන් කියන්නම්… මනිඅක්ඛිත නා රජතුමාට සහ මටත් නායක මාහිමිපාණන් වහන්සේටත් සංසාර සම්බන්ධයක් තිබෙනවා. ඒ නිසයි මෙහෙම ධාතුන් වහන්සේ ලැබෙන්නේ… මේක අපි කිසිම ආත්ම ලාභයක් ඇතුව කරපු දෙයක් නෙමෙයි. මේ භුමියේ බලය නිසාමයි මේ ධාතුන් වහන්සේ ලැබුණේ…

ඔබට ලැබුණු කරඬුව මේ ස්ථානයේ ප‍්‍රදර්ශනය කරන්නේ නැහැ. පන්සලේදී ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ වෙනත් නාග පෙනයක් සහිත කරඬුවක් මත… ඔබට නාග ලෝකයෙන් ලැබුණු කරඬුව කෝ…?

එය තිබෙනවා. අපි එම කරඬුවත් ප‍්‍රදර්ශනය කරනවා.

එය නාග ලෝකයෙන්ද ලැබුණේ කියා බැලීමට යම් අයෙක් එම කරඬුව නිරීක්ෂණ සඳහා ඉල්ලා සිටියහොත්, ඒ සඳහා ලබාදීමට සූදානම්ද…?

ඔව්… ඒ ගැන ප‍්‍රශ්නයක් නැහැ. මෙය ශ‍්‍රද්ධාවෙන් බැලිය යුතු දෙයක්…

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *